Friday, July 7, 2017
ඇනා
මාර්ටින් වික්‍රමසිංහයන් ට ‘මහ ගත්කරු’ යන විරුද නාමය ලැබෙන්නේ ඔහු විසින් ලියන ලද ප්‍රබන්ධ හා විචාර ග්රන්ථ ආදියෙන් සිදු වූ සාහිත්‍ය සේවාව වෙනුවෙනි. යථාර්ථවාදී සිංහල නවකතාවේ පුරෝගාමියා ලෙසද ඔහු ගෞරවයට පාත්‍ර වෙයි. එහෙත්, තුරුණු වියේදී වික්‍රමසිංහයන් පළ කළ සෝමා, සීතා, අයිරාංගනී වැනි පෙම් කතා පසෙක තැබූ කල්හි ඉතිරි වන්නේ වැදගත් නවකතා පහකි. එනම් ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය යන තුන් ඈඳුතු නවකතාත්, විරාගය හා බවතරණයත් ය. එසේ නමුදු, පොත් පනහ හැට පළ කළ නවකතා චක්රවර්තීන්ටවත්, වික්‍රමසිංහයන් නවකතාකරුවකු වශයෙන් ලද කීර්තිය අබිබවා යා නොහැකි විය.
මෑතකදී පැවති සාහිත්‍ය කතිකාවට පැමිණ සිටි නව පරපුරේ මාධ්‍යවේදියෙක් කියා සිටියේ වික්‍රමසිංහයන්ගේ විශිෂ්ටතම ප්‍රබන්ධය වන්නේ ‘බවතරණය’ බව ය. ගම්පෙරළිය ඇතුළු අනෙක් නවකතා එතරම් වැදගත් නිර්මාණ නොවන බව ඔහුගේ අදහස විය.
සාහිත්‍ය කලා ලෝකයේ දැවැන්තයන් හෙළා දකිමින් ඔවුන්ට නිගරු කරමින් සභා මධ්‍යයේ කැපී පෙනෙන්නට තැත් කරන මෙබඳු පුද්ගලයන් මානවසිංහයින් විසින් උපහාසයට ලක් කරනු ලැබුවේ ’මූර්ඛ විජය පණ්ඩිත’ යන නාමයෙනි.
වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ ප්‍රකාශයට පත් වන්නේ 1944 දී ය. ‘විරාගය’ 1956 දී ය. ‘බවතරණය’ 1973 දී ය. බවතරණයත්, කළුවර ගෙදරත් වික්‍රමසිංහයන්ගේ අසාර්ථක නවකතා දෙකක් බව පොදු මතය විය. සිය ජීවිතයේ අවසන් සමයේදී ඔහු ලියූ ‘බවතරණය’ බුද්ධ චරිතය පිළිබඳව නිදහස් සිතින් ලිවීමට සැරසුණු නවකතාවක කෙටුම් පතක් බඳු විය. ආගමික වශයෙන් ආන්දෝලනයක් ඇති කළ ද, සාහිත්‍යයික වශයෙන් එය පසුගාමී විය.
බටහිර නවකතා කියවා ලද ශික්ෂණයෙන් යුත් වික්‍රමසිංහයන්, 1946 තරම් ඈතකදී ‘ගම්පෙරළිය’ තුළින් සිංහල නවකතාවට ලබාදෙන ඉදිරි පිම්ම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි ය. වික්‍රමසිංහ සාහිත්‍ය කෘතී අද පවා අලෙවි වෙයි. මුද්‍රණය වෙයි. ඒවා සිංහල සාහිත්‍ය වංශයෙහි තැන තැන ඉදි වූ දැවැන්ත ස්මාරක බඳු ය.
ලෝක සාහිත්‍ය තුළ ද සම්භාව්‍ය කෘතීන්ට පොත් වෙළෙඳසල්හි ‘ස්ථිර රාක්කයක්’ හිමි ය. මිලියන ගණනින් අලෙවි වූ ටෝල්ස්ටෝයි, දොස්තයෙව්ස්කි, ෆ්ලෝබෙයාර්, ෂේක්ස්පියර්, චෙකොෆ්, ලෝරන්ස් ආදීන්ගේ ඉල්ලුම අදටත් වලංගු ය.
සාහිත්‍ය ලෝකයේ එන කාන්තා චරිත අතර අදටත් වැඩිම ඉල්ලුම ඇත්තේ ඇනා කැරනිනා සහ එමා බෝවාරිට ය.
ගුස්ටාව් ෆ්ලෝබෙයාර් ‘මදාම් බෝවාරි’ නමින් ලියූ නවකතාව මුල්වරට පළ වන්නේ 1856 ඔක්තෝබරයේදී ‘ලේ රෙවියු ඩි පැරිස්’ නමැති ප්‍රංශ පුවත් පතෙහි ය. ලියෝ තොල්ස්තෝයිගේ ‘ඇනා කැරනිනා’ වර්ෂ 1875 -77 කාලය තුළ ‘ද රෂියන් මෙසෙන්ජර්’ සඟරාවෙහි කොටස් වශයෙන් පළ කෙරුණි. එය ග්රන්ථයක් වශයෙන් ප්‍රකාශ කෙරෙන්නේ 1878 දීය. 2007 වසරේදී, ‘ටයිම්’ සඟරාව මගින් කළ සමීක්ෂණයේදී, ලෝකයේ හොඳම පොත් 125 අතරට ‘ඇනා කැරනිනා’ ද තේරුණි. ඇතැම් ප්‍රකට ගත්කරුවන් හා විචාරකයන් ‘ඇනා කැරනිනා’ මෙතෙක් ලොව පළ වූ විශිෂ්ටතම නවකතාව ලෙස සළකන අතර, ෆ්ලෝබෙයාර්ගේ ‘එමා බෝවාරි’ට ද, ඈ අසලින්ම අසුනක් පිරිනැමෙයි.
‘ඇනා කැරනිනා’ නවකතාව මුලින්ම සිංහලට නැඟුවේ මුනිදාස සෙනරත් යාපා ය. ස්වර්ණා කාන්ති රාජපක්ෂ විසින් කළ පරිවර්තනයට 2008 දි, රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමිවුණි.
වරදෙහි බැඳීම ජනප්‍රිය මෝස්තරයක් වූ සමාජයක ගොදුරක් බවට පත්වන ඇනා ගේ චරිතය දෙස, තොල්ස්තෝයි බලන්නේ දයානුකම්පාවෙනි.
එමා සහ ඇනා අතර ඇත්තේ එකිනෙකාට සමාන චරිත ස්වභාවයන් ය. සිතුම් පැතුම් ය. ඔවුන් දෙදෙනාම ජීවිත අවුල් කර ගන්නේ අසම්මත ප්‍රේම සබඳතා නිසා ය.
‘බටහිර ශ්‍රේෂ්ඨ නවකතා’ කෘතිය තුළ ඇනා කැරනිනා ගැන අගනා අදහස් දැක්වීමක යෙදෙන ජී.බී. සේනානායකයෝ මෙසේ සඳහන් කරති.
‘ඇනාගේ චරිතය මල් වියූ පලසකට සමාන ය. තොල්ස්තෝයි ඒ පලසෙහි නූල් එකින් එක ඉවත් කොට ඒ නූල් පටවලින් ම වෙනත් මල් ඇතිවන ලෙස පලස යළිත් වියුවාක් මෙන් අපට දැනෙයි. ඇනාගේ පිටිපසින් තොල්ස්තෝයි සිටින බව පොත කියවන විට අපට නොදැනේ. අපට දැනෙන්නේ, සුන්දර ඇනා අප ඉදිරියෙහි සිටින බව පමණි.’ මේ නවකතාවේ එන ලෙවින් නමැති චරිතය තුළ තම සැමියාගේ චරිතය මෙන් ම ප්‍රතිභාව ද ගැබ්ව ඇතැයි තොල්ස්තෝයි ආර්යාව පවසා ඇත. ‘මදාම් බොවාරි’ සිංහලට පරිවර්තනය කළේ, පසුගියදා අවසන් ගමන් ගිය සිරිල් සී. පෙරේරා විසිනි. ඊට අමතරව, ජිනදාස ජී.ලේල්වල විසින්ද එය ‘කරුමක්කාරී’ නමින් සිංහල අනුවර්තනය කොට තිබිණි. ප්‍රංශ පුවත්පතේ ‘මදාම් බොවාරි’ පළවන කාලයේ එහි කතුවරු රජයට බියෙන්, ඇතැම් කොටස් කපා දැමූහ. මින් කෝපයට පත් ෆ්ලෝබෙයාර්, පත්‍රයේ කොටස් වශයෙන් පළවන්නේ සම්පූර්ණ නවකතාව නොවේ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.
ආගමට හා සුචරිතයට අපහාස කළේය යන චෝදනාව මත ෆ්ලෝබෙයාර්ටත් පුවත්පතටත් විරුද්ධව නඩු පැවරීමට රජය කටයුතු කළ ද, අවසානයේදී ඔවුන් නිදහස් කෙරුණි. ‘මදාම් බොවාරි’ උසස් නවකතාවක් බව නඩුකාරයා පවා පිළිගත්තේ ය. මේ නඩු හබයෙන්, ෆ්ලෝබෙයාර්ටත්, ඔහුගේ නවකතාවටත් මහත් ප්‍රසිද්ධියක් ලැබුණි.
දහස් ගණනින් සිංහල නවකතා (විශේෂයෙන්ම පෙම්කතා) පළවී ඇතත්, ඒවායේ සිටි කාන්තා චරිත අතරින් තවමත් ආදරය දිනා සිටින්නේ ‘ගම්පෙරළියේ’ නන්දා, ‘විරාගයේ ‘ බතී,” ‘ගොළු හදවතේ’ දම්මි, ‘මළගිය ඇත්තෝ’ හි නොරිකෝ, ‘ගැහැනු ළමයි’ හි කුසුම් වැනි කීප දෙනෙකි. ඔවුන්ගෙන් නොරිකෝ සං හැර අනෙක් සියලු දෙනා චිත්‍රපට හා ටෙලිනාට්‍ය තුළින් ‘සජීවී චරිත’ බවට පත්වීමේ වාසනාවද ලැබූහ. ඔවුන් එසේ දෘශ්‍ය රූප බවට පත් වෙද්දී, පාඨකයා තුළ මැවුණු චිත්ත රූප මියැදෙයි.
ගම්පෙරළිය වැඩකට නැති පොතකැයි කියූ ශ්‍රී ලාංකික තරුණයා මෙන්ම, ඇනා කැරනිනා හා එමා බොවාරි ද නොසලකන තරුණයන් රුසියාවේ හා ප්‍රංශයේ ද සිටින්නට ඉඩ ඇත. එහෙත් ඇනා සහ එමා ලෝක අවසානය තෙක් ම සාහිත්‍ය රසිකයින් වසඟ කරවමින් ‘ජීවත්වනු’ ඇත.
Subscribe to:
Posts (Atom)
